Twitter Bird Gadget

Sunday, May 10, 2015

අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා

-කොණ්ඩකටුවකින් සීගිරි කැටපත් පවුරේ නම් දෙකක් ලීයූ වරදට දෙවසරක සිර දඩුවමකට යටත් කළ සින්නතම්බි උදේනි වෙනුවෙන්

ළමිස්සියක් සීගිරියේ මිනි මැරුවේ නැතේ යා
අවවාදයක් දඩයක් දෙන සුළු වරදක් කළේ යා
නීතිය ඉදිරියේ යුක්තිය වල් වැදුණේ කෙසේ යා
අවනඩු - ‘ඇපැල්‘ කවි - වස් කවි අධිකරණෙට වැදේයා

දුඹුරු කොමඩු ඇට - දත් වල හිනායා
නොමැත - නොකඩවා ඇය දැන් අඬායා
කොමඩු තීරු - දිග ඇස් අග තෙමේයා
තෙමෙත - එ‘ඇස් අම්මෙකු වාවතා යා

නිල් කට්රොල් - පෑ නළලේ ‘කරුප්පු‘ තිත තබායා
‘සිවප්පු‘ තිත තබන නැකත තෙක් දසැඟිලි ගනීයා
‘කල්‍යානම්‘ නැකතට පෙර සීගිරියේ ගියෝ යා
කරපු වරද මේ තරමට දරුණු මොකද කියෝ යා

රැකවල්ලෑ මුර භටයින් හැම දෙන බේරුණෝයා
කරපු වරද පිළිගත්තට කෙල්ලට වැරදුණෝ යා
සීගිරි ලලනා කෙල්ලොත් හෝ හෝ ගා අඬා යා
හිරගත යුවතිය ඉරණම ඉකි බිඳ බිඳ කියෝ යා

කොටපු කොටපු නම් ඔක්කොම - කීයක් තියෙනවාදෝ
ලියපු ලියපු ගාණට අය - කූඩු වලට ගියා දෝ
සනුහරයක ම අච්චුවකට - කෙල්ලව අහු වුණා දෝ
හිරේ ගිහින් ආවෝතින් - කළ පව් ගෙවෙනවාදෝ

අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා
මහ‍නෙල් මල් - නටු කෙල්ලක - දඟ ගෙයකට අරෝ යා
මිටි තැනකින් - මහ වතුරක් දෙගොඩ තලා ගියේ යා
මේ ගැන පවුරේ ලියන්ඩ - ‘කොණ්ඩ කටුව‘ දියෝයා

* (කරුප්පු - කලු / සිවප්පු - රතු / කල්‍යානම් - සරණ මංගල්‍යය) 

Surekha Samarasena | සුරේඛා සමරසේන
බූන්දි, අඟහරුවාදා, මාර්තු 17, 2015 11:57:21

Popular Posts