Twitter Bird Gadget

Monday, November 5, 2012

වසර 6 ක් පුරා තම ස්වාමියාගේ සොහොන්කොත අසල තනි රකින Capitan..

විල්ලා කාලෝස් පැස් නගරය පිහිටා ඇත්තේ, ආජන්ටිනාවේ මධ්‍යම ප්‍රදේශයට වන්නටය. එහි පිහිටි සොහොන්බිම වෙත යන ඕනෑම අයකුගේ නෙත ගැටෙන දර්ශනයක් තිබේ. ඒ සොහොන් කොතක් ආරක්‍ෂා කරමින් ඒ මත නිදා සිටින, ඒ අසල ගැවසෙන සුනඛයකුගේ දර්ශනයයි. මියගිය තම ස්වාමියා වෙනුවෙන් කෘතගුණ දක්වන මේ සුනඛයා, නමින් “කැපිටන්” ය.

 කැපිටන් මේ සොහොන් කොත ආරක්‍ෂා කරන්නේ අද ඊයේක සිට නොවේ.

 2006 වසරේ සිට පුරා වසර 6 ක් කැපිටන් තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්‍ෂා කරයි. කැපිටන් යනු ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයෙකි.

 මිගෙල් ගැස්මන් නම් පුද්ගලයා 2005 වසරේදී කැපිටන් රැගෙනවිත් ඇත්තේ, සිය ආදරණීය පුතණුවන්ගේ 13 වැනි උපන් දිනයේ ත්‍යාගය ලෙසයි. ඒ අනුව කැපිටන්ගේ සැබෑ ස්වාමියා වන්නේ, මිගෙල්ගේ පුත්‍රයා වන ඩේමියන් වුණත් සුනඛයා තම බැඳීම පවත්වාගෙන ගොස් ඇත්තේ මිගෙල් සමඟිනි.

 එහෙත්, 2006 වසරේ මාර්තු මාසයේ දී මිගෙල් හදිසියේ මිය යන්නේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. මිගෙල්ගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් විල්ලා කාලොස් පැස් සොහොන් බිමේදී සිදුවිය. පවුලේ ඥාතීන්ට එම කටයුතු සඳහා එක්වීමට අවස්ථාව හිමිවුණ ද මිගෙල්ගේ ආදරණීය සුනඛයාට එම අවස්ථාවට සහභාගි වීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. අවසන් කටයුතු නිමා වී නිවෙස වෙත පැමිණි මිගෙල්ගේ ඥාතීන්ට දක්නට ලැබුණේ කැපිටන් නිවෙසේ නොමැති බවයි.

 “අපි කැපිටන්ව හැම තැනම හෙව්වා. ඒත් හොයාගන්න බැරිවුණා. එයා අතුරුදන් වෙලා. අන්තිමට අපි හිතුවේ එයා වාහනයකටවත් යටවෙලා මැරෙන්න ඇති කියලා.”

 සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මිගෙල්ගේ බිරිය වන වෙරෝනිකා කියයි.

 “නමුත් අපි ඊළඟ සුමානේ කනත්තට යනකොට කැපිටන් එහි සිටියා. එයාව අඳුරගත්තේ ඩේමියන් පුතා. කැපිටන් අපි ළඟට ඇවිත් බිරුවා. ඒක ඇත්තටම වැලපීමක්. හරියට අඬනවා වගෙයි අපිට දැනුණේ” වෙරෝනිකා වැඩිදුරටත් පවසයි. කිසිදු අවස්ථාවක සොහොන් බිම වෙත කැපිටන් රැගෙන නො ආ බව පවසන වෙරෝනිකා ඔහු සොහොන් බිම සොයාගත් ආකාරය පිළිබඳ ද විස්මයට පත්ව සිටී.”

 “අපි කවදාවත්ම කැපිටන් එහාට ගෙනිහින් නැහැ. කැපිටන් ඒ තැන හොයාගත්තා කියන එක හරිම පුදුමයි. අපි ඊළඟ සුමානේ යනකොටත් කැපිටන් සොහොන් කොත ළඟ හිටියා. ඒ සැරේ නම් එයා අපි ළඟට ඇවිත්, ටික වේලාවක් කාලය ගත කළා. අපි ආයේ ගෙදර එනකොට කැපිටන් අපි එක්කම ආවා. හැබැයි කළුවර වැටීගෙන එනකොට එයා ආයෙත් කනත්තට ගියා” වෙරෝනිකා කියයි. “මම හිතන්නේ කැපිටන් කැමති නැහැ මිගෙල්ව රෑ යාමේ තනියම තියන්න” වෙරෝනිකා වැඩිදුරටත් කියා සිටී.

 තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්‍ෂා කරන මේ අපූරු සුනඛයා කනත්තේ බලධාරීන්ට දැන් සුපුරුදු දසුනක් වී තිබේ. සුනඛයාගේ පළමු පැමිණීම එහි අධ්‍යක්‍ෂ හෙක්ටර් බෙකාගා සිහිපත් කරන්නේ මෙලෙසිනි.

 “දවසක් එකපාරට මේ බල්ලා ආවා. එයත් එක්ක කවුරුත් හිටියෙත් නෑ. තනියමයි ඇවිත් තිබුණේ. එයා මුළු කනත්ත පුරාම ඇවිද්දා. හරියට මොනව හරි හොයන්න ඇවිදිනවා වගේ. පස්සේ එයා එක තැනක නැවතුණා. ඒ එයාගේ ස්වාමියාගේ සොහොන් කොත. දවල් කාලෙට එයා සොහොන් බිම පුරා ඇවිදිනවා. හැබැයි පුළුවන් ඉක්මනට එයා ආයෙත් සොහොන් කොත ළඟට එනවා. ඒ වගේම හැමදාම සවස 6 වෙනකොට එයා ඒ සොහොන් කොත මත වැතිරෙනවා.

 රෑ එළිවෙනකන්ම එයා ඉන්නේ එහෙමයි” හෙක්ටර් සඳහන් කරයි. තම ස්වාමියා වෙනුවෙන් යුතුකම් ඉටුකරන මේ සුනඛයා, කනත්තේ කාර්ය මණ්ඩලයේද සිත් දිනාගෙන සිටී. ඒ නිසාම කැපිටන් හට දැන් ආහාරපාන ලබා දෙන්නේ කනත්තේ කාර්ය මණ්ඩලයයි. සොහොන් කොත ළඟ රැඳී සිටින මේ සුරතලා දැන් එම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සුරතලකු බවට පත්ව සිටී. කෙසේවෙතත් සුනඛයාගෙන් කිසිවකුටත් අවැඩක් නොවීමට කැපිටන් යළි නිවෙස වෙත ගෙන යාමට අවස්ථා කිහිපයකදීම ඩේමියන් උත්සාහ දරා තිබිණි. එහෙත් ඔහුගේ එම උත්සාහයන් සාර්ථක වී නොතිබිණි.

 “මම අවස්ථා ගණනාවක්ම උත්සාහ කළා කැපිටන්ව ගෙදර ගේන්න. ඒ ගෙනාවත් එයා කෙළින්ම ආපහු යන්නේ කනත්තට. මට හිතෙන්නේ එයා මැරෙනකන්ම සොහොන ළඟ ඉඳියි. ඇත්තටම එයා තමයි දැන් මගේ තාත්තව බලාගන්නේ” ඩේමියන් කියයි. සැබවින්ම එය සංවේදී කතාවකි. මිනිසුන්ව මිනිසුන් අත්හැර යන සමාජයක මියගිය මිනිසකු වෙනුවෙන් යුතුකම් ඉටුකරන සුනඛයකු සමාජයට ලබා දෙන්නේ සුවිශේෂ වූ පණිවිඩයකි. සතුන් අතරින් මිනිසාගේ පරම මිත්‍රයා ලෙස සුනඛයා සැලකෙන්නේ ද, මෙවැනි වූ අසීමිත කෙළෙහිගුණයක්, දයාවක්, ආදරයක් තම ස්වාමියන් වෙත දක්වන නිසාය.

 ඕනෑම අයකු වඩාත් වැඩියෙන් ආදරය කරන්නේ තම ජීවිතයට ය. එහෙත්, සුනඛයන් පිළිබඳ කතා කිරීමේදී ඇතැම් සත්වවේදීන් පළකරන්නේ වෙනස් මතයකි. එනම් සුනඛයා යනු තම ජීවිතයටත් වඩා තම ස්වාමියාට ආදරය කරන සත්ව කොට්ඨාසයක් ලෙසිනි. ඒ මතය තහවුරු කරන්නට කැපිටන් සමත්ව සිටී.

 උපුටා ගැනීම : දිනමිණ සිතිජය අතිරේකය මඟිනි..

Wednesday, October 24, 2012

ඉන්දියාව ම හඬවා යෂ් චොප්රා අවසන් ගමන් යයි

ඉන්දියාව ම හඬවා යෂ් චොප්රා අවසන් ගමන් යයි


මුම්බායි -ඒ.එෆ්.පි

ඩෙංගු රෝගය වැළදිමෙන් පසු රෝහල්ගතව සිටියදී මිය ගිය ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ සිනමාකරු යාෂ් චොප්රා ගේ ආදාහනෝත්සවය පෙරේදා මුම්බායි හිදී සිදු කෙරුණේ අමිතාබ් බච්චන් , ෂාරුක්ඛාන් ඇතුළු බොලිවුඩ් සිනමා නළු නිළියන් සහිත විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

මිය යන විට 80 වැනි වියේ පසුවූ ඔහු ගේ දේහය ආදාහනෝත්සවයට ‍පූර්වයෙන් ඔහුගේ චිත්‍රාගාරයේ තැන්පත් කර තිබුණේ ජනතාවට අවසන් ගෞරව පිදිමට අවස්ථාවක් සලසමිනි.

මුම්බායි මිරර් හා මිඩ්ඩේ පුවත්පත්වල මුල් පිටුවලින් ම චොප්රාට උපහාර දක්වා තිබිණ. ඉනිදියන් එක්ස්ප්‍රස් පුවත්පත මේ සිහින නිර්මාපකයා හඳුන්වා තිබුණේ බොලිවුඩ් හි ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයකු ලෙසය.

ඔහු 44 වසරක කාලයක් සිනමා ලොවේ කටයුතු කර තිබිණ. මෑතකදී සිය දියණිය අහිමි වූ ගීත ලොවේ ‍කෝකිලාවියක ලෙස සැලකෙන ආෂා බොෂ්ලේ 'තම දියණිය ගේ වියෝවෙන් හටගත් ශෝකය තුනී වීමටත් මත්තෙන් සොයුරු චොප්රා අපහැර ගියා'යැයි කීවේ ඔහු පවුලේ අයකු ලෙස සලකමිනි.

අගමැති මන්මෝහන් සිං ද ඉකුත් ඉරිදා ඔහුගේ දේහයට අවසන් බුහුමන් දක්වා තිබිණ. අගමැතිවරයා කීවේ ඔහු 'ඉන්දීය සිනමාවේ ප්‍රතිමූර්තියක්' බවය. ' පරම්පරා ගණනාවක් ජනතාව ඔහු ඔහුගේ නිර්මාණාත්මක හැකියාවෙන් පිනවනු ලැබුවා.

ජිවිතයටත් වඩා සිය චිත්‍රපට පුළුල් බව විදහා දැක්වීමේ සෞන්දර්යාත්මක හැකියාවක් ඔහු සතුවු'යැයි අගමැතිවරයා කීවේය. වර්ෂ 1932 පාකිස්තානයේ ලාහෝරයේ උපත ලද චොප්රා දරුවන් අටදෙනකුගෙන් යුතු පවු‍ලේ බාලයා විය. ඔහු බොලිවූඩ් සිනමාවට පැමිණියේ ඔහුටත් කලින් සිනමා නිෂ්පාදනවලට අත ගසා සිටි සොයුරු බී.ආර්. චොප්රාගේ සහායකුයකු වශයෙනි.

වර්ෂ 1970 ගණන්වලදි ඔහුගේම නිෂ්පාදන සමාගමක් ලෙස යාෂ්රාජි ෆිල්ම්ස් ආයතනය ඇරඹූ ඔහු චිත්‍රපට රාශියක් නිර්මාණය කළේය. ඔහු සිය 80 වැනි ජන්ම දින උත්සවයේදි සිනමා ක්ෂේත්‍රයෙන් සමුගන්නා බව ද කියා තිබිණ.
(http://www.dinamina.lk/2012/10/24/_art.asp?fn=w1210248)
www.dinamina.lk


Thursday, October 18, 2012

කවදාවත් අවසාන තීරණයකට එන්න එපා

වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල් එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන හෙන ආසාවෙන් එළිය බලාගෙන හිටියේ.

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.."

තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්දු මගේ අතටත් වැටෙනවා.."

 දැන් කපල් එකට හෙනම ප්‍රස්නයක්   මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"

ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා.
ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක..

Thursday, October 11, 2012

බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණයෙන් පමණක් නො වේ

පසුගිය ජූනි මස 10 වෙනි දින “සිළුමිණෙහි” පළවූ අ. ආ. ගුණතිලකයන් විසින් රචිත “බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණය රැකෙන තාක් පමණයි” යන ලිපිය මම ඉතා උනන්දුවෙන් කියැවීමි. ඒ ලිපියෙහි ජේ. බී. දිසානායකයන් පිළිතුරු සැපයීමට නො හැකිව අසරණ වී විවාදයෙන් ඉවත් වූ බව සඳහන් වේ. කෙසේ වෙතත්, එය නිවැරදි ව දන්නේ දිසානායකයන් පමණි. දිසානායකයන් හා ගුණතිලකයන් අතර ඇතිවූ වාදය තිත්ත වී ඇත් ද, නො එසේනම් ප්‍රසාදයට පාත්‍ර වී තිබේ ද යන්න නිශ්චිතව දැනගැනීමට නම් කළ යුත්තේ පාඨකයන්ගේ රුචිකත්වය පිළිබඳ සමීක්ෂණයක් කර නිගමනයකට එළඹීම ය.

අ. ආ. ගුණතිලක මහතා සිය ලිපියේ මෙරට වාග්විද්‍යාවේ ආරම්භය ගැන මෙසේ පවසයි.

 “...මෑත දී මෙරටට හඳුන්වා දෙන ලද නූතන වාග්විද්‍යාව සිසුනට පමණක් නොව භාෂාව ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනාට අලුත් විෂයයකි...” ගුණතිලක මහතා “මෑත දී” යන්න කුමන අර්ථයකින් යෙදුවා දැයි සිතාගත නො හැකි ය. කෙසේ වෙතත් මගේ මතකයට අනුව වාග්විද්‍යා විෂය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුලින් ම ආරම්භ වූයේ 1950 දසකයේ අවසාන භාගයේ ය. මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා විසින් මේ විෂය ඉගැන්වීමට පුරෝගාමී වී තිබේ. ඒ අනුව වාග්විද්‍යා විෂය මෙරටට හඳුන්වා දී අවුරුදු පනහකට වැඩි ය. එය මෑතක දී ආරම්භ වූ විෂයයක් නො වේ.

 වර්තමානයේ වාග්විද්‍යාඥයන් හා සාම්ප්‍රදායික භාෂාවේදීන් අතර නිරන්තරයෙන් මතවාද ඇතිවන්නේ, මේ දෙපාර්ශ්වයේ බොහෝ දෙනකුට වාග්විද්‍යාව හා සාම්ප්‍රදායික ව්‍යාකරණය යන විෂයය දෙක ම පිළිබඳ ව පළල් දැනුමක් නොතිබීම නිසා ය. මේ තත්ත්වය අවබෝධ කරගෙන ඉහත සඳහන් දෙපිරිස ම කළ යුත්තේ වාග්විද්‍යාව හා සාම්ප්‍රදායික ව්‍යාකරණය පිළිබඳ ව ගැඹුරු දැනුමක් ලබාගෙන ඒ දෙකෙහි ම සාධනීය ලක්ෂණ උකහා ගෙන නිශේධනීය ලක්ෂණ බැහැර කිරීම ය.

 වාග්විද්‍යාඥයාගේ විෂයය ක්ෂේත්‍රයට මූලික වශයෙන් පාදක වන්නේ කතා ව්‍යවහාර භාෂාවයි. අනෙක් අතට සාම්ප්‍රදායික ව්‍යාකරණකරුවාට පාදක වන විෂයය ක්ෂේත්‍රය ලිඛිත ව්‍යවහාර භාෂාවයි. ම. ව. සුගතපාල ද සිල්වා මහතා කියූ පමණින් සම්භාව්‍ය ලේඛන ව්‍යවහාරය වළලා දැමීම ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවන බව මා දරන අදහසයි. සාම්ප්‍රදායික ව්‍යාකරණයක් තිබිය යුතු ය. එමෙන් ම වරක් මුනිදාස කුමාරතුංගයන් පැවසූ පරිදි කටවහර රිටකින් පවා ඇල්ලීමට සුදුසු නැත යන්න ද බුද්ධිගෝචර නො වේ. කතා ව්‍යවහාර භාෂාව ද ඉතා අත්‍යවශ්‍ය වන බැවිනි. ම. ව. සුගතපාල ද සිල්වා හෝ මුනිදාස කුමාරතුංග හෝ සිදත් සඟරා කතුවරයා කියූ පමණින් ඒ සියල්ල දේවභාෂිත වදන් ලෙස පිළිගැනීමට තරම් අප ළාමක විය යුතු නැත. සිදත් සඟරා කතුවරයා කියූ පමණින් ම අප යමක් පිළිගන්නේ නම්, අප තරම් බුද්ධි හීනයන් පිරිසක් තවත් නැත.

 මට පෙනෙන පරිදි වර්තමාන වාග්විද්‍යාඥයන් බොහෝ දෙනෙකු ම. ව. සුගතපාල සිල්වා මහතාගේ අනුකාරකයන් ය. එතැනින් එහා යමක් සිතන්නටත්, යමක් දකින්නටත්, කරන්නටත් බුද්ධියක් හෝ හැකියාවක් ඔවුනට නැත. සාම්ප්‍රදායික ව්‍යාකරණකරුවන්ගෙන් බොහෝ දෙනකු ද හෙළ හවුලේ පුරෝගාමියා වූ මුනිදාස කුමාරතුංගගේ අනුගාමිකයන් ය; අනුකාරකයන් ය. ඔවුනට ද කුමාරතුංගයන්ගේ දැක්මෙන් එහාට ගොස් සිතීමට හා යමක් කිරීමට තරම් ප්‍රඥාවක් හෝ ශක්තියක් නැති බව පෙනේ. සිදත් සඟරා කතුවරයා කියූ දෙයක් තම තමන්ගේ වාසිය තකා යොදා ගැනීමට ජේ. බී. දිසානායක මහතා හා අ. ආ. ගුණතිලක මහතා උත්සාහ දරන්නේ ද තාර්කික හැකියාව නොමැති නිසා ය.

 අද්‍යතන වාග්විද්‍යාඥයා මුල්තැන දෙන්නේ භාෂාව විග්‍රහ කිරීමට ය. විග්‍රහත්මක වාග්විද්‍යාව, සමාජ වාග්විද්‍යාව, ඓතිහාසික වාග්විද්‍යාව, හා තුලනාත්මක වාග්විද්‍යාව ලෙසින් අංශවලට බෙදෙමින් නූතන වාග්විද්‍යා විෂයය ක්ෂේත්‍රය පළල් වෙමින් පවතී. වාග්විද්‍යාවේ දී කතා ව්‍යවහාරයට මුල්තැන දෙන නිසා ප්‍රාදේශීය භාෂා, පරිමිත භාෂා පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කෙරේ. එහෙත් අ. ආ. ගුණතිලකයන් කතා ව්‍යවහාරයට සැලකිය යුතු ස්ථානයක් දීමට මැළිවන බව මතු දැක්වෙන ප්‍රකාශනයෙන් තහවුරු වේ.

 “... ඒ ඒ අය කතා කරන ඕපපාතික භාෂාවලින් ලියන්නට පටන් ගත්දාට ඇතිවිය හැකි අවුල් ජාලය...”

ගුණතිලක වියතාණෙනි, කතා කරන භාෂාව යනු ඕපපාතික ව පහළ වූවක් නො වේ. එය ඈත අතීතයේ සිට ජනතාව අතර භාවිත වූ භාෂාවයි. සාමාන්‍ය ජනතාව එදිනෙදා කටයුතුවල දී භාවිත කරන මේ භාෂාව හෙළා දැකීම ඔබ වැනි උගතුනට කිසිසේත් උචිත නො වේ. ඒ මන්ද යත් කතා ව්‍යවහාර බසෙහි ද වියරණයක් තිබෙන බැවිනි. වාග්විද්‍යාවට අනුව ව්‍යාකරණය යනු භාෂාව සකස් වී තිබෙන පිළිවෙළ යි. නැතහොත් සැලැස්මයි. උදා:- කතා ව්‍යවහාරයේ ඇතුළත් මතු දැක්වෙන ක්‍රියාපද සැකසී තිබෙන්නේ එක්තරා පිළිවෙළකට ය; රටාවකට ය. ඒවායේ “අ” ස්වරය අඩංගු ය.


 අඬනවා - අඬ (අ)

 කඩනවා - කඩ (අ)

 මරනවා - මර (අ)

 බලනවා - බල (අ)


 මෙයින් ගම්‍ය වන්නේ කතා ව්‍යවහාර බසෙහි ද ව්‍යාකරණයක් ගැබ්වෙන බවයි. ඒ අනුව කතා ව්‍යවහාර බස පහත් කොට සැලකීමට කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නැත. එයින් ද බසෙහි අනන්‍යතාව සුරැකෙන බැවිනි. මගේ මතකය අනුව පොදු ජනතාව අතරින් බිහිවූ ඇතැම් ජනකවි ඉතා විශිෂ්ට ය. එසේ නම් කතා ව්‍යවහාර භාෂාව මුඩුක්කු භාෂාවක් හෝ හඩු භාෂාවක් සේ සලකා කොන් කිරීම සාධාරණ නො වේ. භාෂාවක අනන්‍යතාව හෙළි කිරීමට උපකාරි වන්නේ ලිඛිත ව්‍යවහාරයේ ඇතුළත් සාම්ප්‍රදායික ව්‍යාකරණය පමණක් නො වේ. කතා ව්‍යවහාර බසෙහි ඇති ව්‍යාකරණය ද භාෂාවක අනන්‍යතාව රැකීමට ඉවහල් වේ.

 කතා ව්‍යවහාරයෙන් පතපොත ලිවීමේ දෝෂයක් මම නො දකිමි. එහෙත් කතා ව්‍යවහාරයෙන් ලිවීමේ දී කිසියම් අන්දමකින් ඒ බස සකස් කිරීම අවශ්‍ය වේ. නන්දසේන රත්නපාල ඉතා රසවත් ලෙස බොහොමයක් පතපොත ලියා ඇත්තේ කතා ව්‍යවහාර බස උපයෝගි කරගෙන ය. කතා ව්‍යවහාර බසෙහි ඇති මටසිලිටු හෙවත් මෘදු කෝමළ බව හඳුනාගෙන ඒ බස සකස් කොට පතපොත ලිවිය හැකි ය.

 ධර්මසේන හිමි දඹදෙනි යුගයේ දී ලියන ලද සද්ධර්මරත්නාවලිය මේ සඳහා දැක්විය හැකි කදිම නිදසුනකි. කතා ව්‍යවහාරය ග්‍රාම්‍ය ලෙස සලකා ඉවත දමන්නේ වෙනස්වීමට අකැමති, අතීතකාමි ගුණතිලකයන් වැනි හෙළ හවුලේ සාමාජිකයන් පමණි. සිංහල බසෙහි ද්විරූපතාවක් ඇති බවත්, කතා ව්‍යවහාර බස සේම, ලේඛන ව්‍යවහාර බස සකස් කිරීමෙන් පතපොත ලිවීමට යොදාගත හැකි බවත් නිගමනය කළ හැකි ය. මෙහි දී වඩාත් වැදගත් වන්නේ එක් එක් ලේඛකයා උපයුක්ත කරගන්නා ලේඛන ශෛලියයි. එයින් ලේඛකයන්ගේ අනන්‍යතාව ද හඳුනාගත හැකි ය.


 රෝහණ වංශතිලක

Popular Posts