Twitter Bird Gadget

Thursday, October 11, 2012

බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණයෙන් පමණක් නො වේ

පසුගිය ජූනි මස 10 වෙනි දින “සිළුමිණෙහි” පළවූ අ. ආ. ගුණතිලකයන් විසින් රචිත “බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණය රැකෙන තාක් පමණයි” යන ලිපිය මම ඉතා උනන්දුවෙන් කියැවීමි. ඒ ලිපියෙහි ජේ. බී. දිසානායකයන් පිළිතුරු සැපයීමට නො හැකිව අසරණ වී විවාදයෙන් ඉවත් වූ බව සඳහන් වේ. කෙසේ වෙතත්, එය නිවැරදි ව දන්නේ දිසානායකයන් පමණි. දිසානායකයන් හා ගුණතිලකයන් අතර ඇතිවූ වාදය තිත්ත වී ඇත් ද, නො එසේනම් ප්‍රසාදයට පාත්‍ර වී තිබේ ද යන්න නිශ්චිතව දැනගැනීමට නම් කළ යුත්තේ පාඨකයන්ගේ රුචිකත්වය පිළිබඳ සමීක්ෂණයක් කර නිගමනයකට එළඹීම ය.

අ. ආ. ගුණතිලක මහතා සිය ලිපියේ මෙරට වාග්විද්‍යාවේ ආරම්භය ගැන මෙසේ පවසයි.

 “...මෑත දී මෙරටට හඳුන්වා දෙන ලද නූතන වාග්විද්‍යාව සිසුනට පමණක් නොව භාෂාව ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනාට අලුත් විෂයයකි...” ගුණතිලක මහතා “මෑත දී” යන්න කුමන අර්ථයකින් යෙදුවා දැයි සිතාගත නො හැකි ය. කෙසේ වෙතත් මගේ මතකයට අනුව වාග්විද්‍යා විෂය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුලින් ම ආරම්භ වූයේ 1950 දසකයේ අවසාන භාගයේ ය. මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා විසින් මේ විෂය ඉගැන්වීමට පුරෝගාමී වී තිබේ. ඒ අනුව වාග්විද්‍යා විෂය මෙරටට හඳුන්වා දී අවුරුදු පනහකට වැඩි ය. එය මෑතක දී ආරම්භ වූ විෂයයක් නො වේ.

 වර්තමානයේ වාග්විද්‍යාඥයන් හා සාම්ප්‍රදායික භාෂාවේදීන් අතර නිරන්තරයෙන් මතවාද ඇතිවන්නේ, මේ දෙපාර්ශ්වයේ බොහෝ දෙනකුට වාග්විද්‍යාව හා සාම්ප්‍රදායික ව්‍යාකරණය යන විෂයය දෙක ම පිළිබඳ ව පළල් දැනුමක් නොතිබීම නිසා ය. මේ තත්ත්වය අවබෝධ කරගෙන ඉහත සඳහන් දෙපිරිස ම කළ යුත්තේ වාග්විද්‍යාව හා සාම්ප්‍රදායික ව්‍යාකරණය පිළිබඳ ව ගැඹුරු දැනුමක් ලබාගෙන ඒ දෙකෙහි ම සාධනීය ලක්ෂණ උකහා ගෙන නිශේධනීය ලක්ෂණ බැහැර කිරීම ය.

 වාග්විද්‍යාඥයාගේ විෂයය ක්ෂේත්‍රයට මූලික වශයෙන් පාදක වන්නේ කතා ව්‍යවහාර භාෂාවයි. අනෙක් අතට සාම්ප්‍රදායික ව්‍යාකරණකරුවාට පාදක වන විෂයය ක්ෂේත්‍රය ලිඛිත ව්‍යවහාර භාෂාවයි. ම. ව. සුගතපාල ද සිල්වා මහතා කියූ පමණින් සම්භාව්‍ය ලේඛන ව්‍යවහාරය වළලා දැමීම ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවන බව මා දරන අදහසයි. සාම්ප්‍රදායික ව්‍යාකරණයක් තිබිය යුතු ය. එමෙන් ම වරක් මුනිදාස කුමාරතුංගයන් පැවසූ පරිදි කටවහර රිටකින් පවා ඇල්ලීමට සුදුසු නැත යන්න ද බුද්ධිගෝචර නො වේ. කතා ව්‍යවහාර භාෂාව ද ඉතා අත්‍යවශ්‍ය වන බැවිනි. ම. ව. සුගතපාල ද සිල්වා හෝ මුනිදාස කුමාරතුංග හෝ සිදත් සඟරා කතුවරයා කියූ පමණින් ඒ සියල්ල දේවභාෂිත වදන් ලෙස පිළිගැනීමට තරම් අප ළාමක විය යුතු නැත. සිදත් සඟරා කතුවරයා කියූ පමණින් ම අප යමක් පිළිගන්නේ නම්, අප තරම් බුද්ධි හීනයන් පිරිසක් තවත් නැත.

 මට පෙනෙන පරිදි වර්තමාන වාග්විද්‍යාඥයන් බොහෝ දෙනෙකු ම. ව. සුගතපාල සිල්වා මහතාගේ අනුකාරකයන් ය. එතැනින් එහා යමක් සිතන්නටත්, යමක් දකින්නටත්, කරන්නටත් බුද්ධියක් හෝ හැකියාවක් ඔවුනට නැත. සාම්ප්‍රදායික ව්‍යාකරණකරුවන්ගෙන් බොහෝ දෙනකු ද හෙළ හවුලේ පුරෝගාමියා වූ මුනිදාස කුමාරතුංගගේ අනුගාමිකයන් ය; අනුකාරකයන් ය. ඔවුනට ද කුමාරතුංගයන්ගේ දැක්මෙන් එහාට ගොස් සිතීමට හා යමක් කිරීමට තරම් ප්‍රඥාවක් හෝ ශක්තියක් නැති බව පෙනේ. සිදත් සඟරා කතුවරයා කියූ දෙයක් තම තමන්ගේ වාසිය තකා යොදා ගැනීමට ජේ. බී. දිසානායක මහතා හා අ. ආ. ගුණතිලක මහතා උත්සාහ දරන්නේ ද තාර්කික හැකියාව නොමැති නිසා ය.

 අද්‍යතන වාග්විද්‍යාඥයා මුල්තැන දෙන්නේ භාෂාව විග්‍රහ කිරීමට ය. විග්‍රහත්මක වාග්විද්‍යාව, සමාජ වාග්විද්‍යාව, ඓතිහාසික වාග්විද්‍යාව, හා තුලනාත්මක වාග්විද්‍යාව ලෙසින් අංශවලට බෙදෙමින් නූතන වාග්විද්‍යා විෂයය ක්ෂේත්‍රය පළල් වෙමින් පවතී. වාග්විද්‍යාවේ දී කතා ව්‍යවහාරයට මුල්තැන දෙන නිසා ප්‍රාදේශීය භාෂා, පරිමිත භාෂා පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කෙරේ. එහෙත් අ. ආ. ගුණතිලකයන් කතා ව්‍යවහාරයට සැලකිය යුතු ස්ථානයක් දීමට මැළිවන බව මතු දැක්වෙන ප්‍රකාශනයෙන් තහවුරු වේ.

 “... ඒ ඒ අය කතා කරන ඕපපාතික භාෂාවලින් ලියන්නට පටන් ගත්දාට ඇතිවිය හැකි අවුල් ජාලය...”

ගුණතිලක වියතාණෙනි, කතා කරන භාෂාව යනු ඕපපාතික ව පහළ වූවක් නො වේ. එය ඈත අතීතයේ සිට ජනතාව අතර භාවිත වූ භාෂාවයි. සාමාන්‍ය ජනතාව එදිනෙදා කටයුතුවල දී භාවිත කරන මේ භාෂාව හෙළා දැකීම ඔබ වැනි උගතුනට කිසිසේත් උචිත නො වේ. ඒ මන්ද යත් කතා ව්‍යවහාර බසෙහි ද වියරණයක් තිබෙන බැවිනි. වාග්විද්‍යාවට අනුව ව්‍යාකරණය යනු භාෂාව සකස් වී තිබෙන පිළිවෙළ යි. නැතහොත් සැලැස්මයි. උදා:- කතා ව්‍යවහාරයේ ඇතුළත් මතු දැක්වෙන ක්‍රියාපද සැකසී තිබෙන්නේ එක්තරා පිළිවෙළකට ය; රටාවකට ය. ඒවායේ “අ” ස්වරය අඩංගු ය.


 අඬනවා - අඬ (අ)

 කඩනවා - කඩ (අ)

 මරනවා - මර (අ)

 බලනවා - බල (අ)


 මෙයින් ගම්‍ය වන්නේ කතා ව්‍යවහාර බසෙහි ද ව්‍යාකරණයක් ගැබ්වෙන බවයි. ඒ අනුව කතා ව්‍යවහාර බස පහත් කොට සැලකීමට කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නැත. එයින් ද බසෙහි අනන්‍යතාව සුරැකෙන බැවිනි. මගේ මතකය අනුව පොදු ජනතාව අතරින් බිහිවූ ඇතැම් ජනකවි ඉතා විශිෂ්ට ය. එසේ නම් කතා ව්‍යවහාර භාෂාව මුඩුක්කු භාෂාවක් හෝ හඩු භාෂාවක් සේ සලකා කොන් කිරීම සාධාරණ නො වේ. භාෂාවක අනන්‍යතාව හෙළි කිරීමට උපකාරි වන්නේ ලිඛිත ව්‍යවහාරයේ ඇතුළත් සාම්ප්‍රදායික ව්‍යාකරණය පමණක් නො වේ. කතා ව්‍යවහාර බසෙහි ඇති ව්‍යාකරණය ද භාෂාවක අනන්‍යතාව රැකීමට ඉවහල් වේ.

 කතා ව්‍යවහාරයෙන් පතපොත ලිවීමේ දෝෂයක් මම නො දකිමි. එහෙත් කතා ව්‍යවහාරයෙන් ලිවීමේ දී කිසියම් අන්දමකින් ඒ බස සකස් කිරීම අවශ්‍ය වේ. නන්දසේන රත්නපාල ඉතා රසවත් ලෙස බොහොමයක් පතපොත ලියා ඇත්තේ කතා ව්‍යවහාර බස උපයෝගි කරගෙන ය. කතා ව්‍යවහාර බසෙහි ඇති මටසිලිටු හෙවත් මෘදු කෝමළ බව හඳුනාගෙන ඒ බස සකස් කොට පතපොත ලිවිය හැකි ය.

 ධර්මසේන හිමි දඹදෙනි යුගයේ දී ලියන ලද සද්ධර්මරත්නාවලිය මේ සඳහා දැක්විය හැකි කදිම නිදසුනකි. කතා ව්‍යවහාරය ග්‍රාම්‍ය ලෙස සලකා ඉවත දමන්නේ වෙනස්වීමට අකැමති, අතීතකාමි ගුණතිලකයන් වැනි හෙළ හවුලේ සාමාජිකයන් පමණි. සිංහල බසෙහි ද්විරූපතාවක් ඇති බවත්, කතා ව්‍යවහාර බස සේම, ලේඛන ව්‍යවහාර බස සකස් කිරීමෙන් පතපොත ලිවීමට යොදාගත හැකි බවත් නිගමනය කළ හැකි ය. මෙහි දී වඩාත් වැදගත් වන්නේ එක් එක් ලේඛකයා උපයුක්ත කරගන්නා ලේඛන ශෛලියයි. එයින් ලේඛකයන්ගේ අනන්‍යතාව ද හඳුනාගත හැකි ය.


 රෝහණ වංශතිලක

No comments:

Post a Comment

Popular Posts