Twitter Bird Gadget

Monday, January 6, 2014

අපි වෙනත් වෙමුද? වෙනස් වෙමුද?




‘ඔය ටූත් බ‍්‍රෂ් එක දැන් මාසයක් විතර. කෙඳිත් එහෙට මෙහෙට වෙලා; පරණයි. අලූත් එකක් ගන්න; පරණ එකෙන් දත් මදින්න හොඳ නෑ.’  
මව්පියෝ ද වෛද්‍යවරු ද දරුවන්ට කියති.
‘මොකක්ද පුතා ඔය ‘හම්පඩ කලිසම’ හැමදා ම අඳින්නෙ? හරියට ඇඳුම් නෑ වගේ; වෙන එකක් අඳින්න. ඔයා හරියට ‘යුනිෆෝම් කාරයෙක්’ වගේ..’
තමන් ‘කැමති’ එක ම කලිසම, ‘ආස’ කලිසම, නිතර ම අඳින පුතාට අම්මා කියන්නී ය.
‘මොකද්ද අප්පා! හැමදා ම ‘පරිප්පු’. වෙනස් කෑමක් හදන්නකෝ? නැත්නම් ‘වෙන ක‍්‍රමයකට’ හදන්නකෝ’
දරුවෝ අම්මලාට කියති.
අලූත් දෙයක්, වෙනස් එකක්, වෙනත් ක‍්‍රමයක් පිළිබඳ යෝජනා, චෝදනා, සංයෝජනා ගෙදරදොරේ ගලන්නේ ය.
‘හින්දි ෆිල්ම් හැම එකක ම තියෙන්නේ එක ම ‘වට්ටෝරුව’ ය. හැබැයි ‘ත‍්‍රී ඉඩියට්’ ටිකක් වෙනස්. අපි බලමු ද?’ මාගේ මිත‍්‍රයෙක් කී ය.
‘මෙගා නාට්‍යය හැම එකක් ම එක වගේ. ගෑනු තුන්දෙනෙක් ලස්සනට ඇඳගෙන සාලෙ මැද්දෙ පවුඩර් දාගෙන රණ්ඩු කරනවා. ව්‍යාපාරයකට හරි, මිනිහට හරි ‘අපේ අම්මා පරණයි; තාත්තගෙන් දැන් වැඩක් නෑ; බිරිද ස්වාමියා දැන් ඉස්සර වගේ ‘තරුණ’ නෑ; ළමයි ලොකුයි; පොඩි ළමයි නෑ; යනාදිය ආධ්‍යාත්මය බැදුණු, ඥාතීත්වය බැදුණු ලේ මස් ඇට නහරවලට බැදුණු ආත්මීය කාරණාවන් ය. අපට භෞතික පරිසරය වෙනස් කරන ඉක්මනට ආත්මීය කාරණා වෙනස් කළ නො හැකි ය. එහෙත් පුරුෂාර්ථ, මානවධර්මතා, ආධ්‍යාත්මික ජීවිතය සහ වෙනස් කිරීමට අකමැති ‘පෙකණිවැලේ’ සම්බන්ධතා ද ටිකෙන් ටික වෙනස් වේ. තරුණ පෙම්වතාට කෝක බැලූවත් එක වගේ. හඳයාගෙයි ප‍්‍රසන්නගෙයි ටෙලිනාට්‍ය ඔයිට’ වෙනස්. අඩු ගානේ ‘ටෙලි පුන්නක්කු’ වෙනුවට ඒවගේ ‘මනුෂ්‍ය කෑමක්’ තියෙනවා. පුන්නක්කු කන ‘හරක්’ නොවී ‘මිනිස්සු’ වෙමු ද?’ රැඩිකල් විචාරක තරුණයෙක් කියන්නේ ය.
ජේ. ආර්, ඞී. එස්, එස්. ඩබ්ලිව්, පේ‍්‍රමදාස, විජේතුංග, ඇන්. ඇම් කවුරු කවුරුත් ඇන්දේ පැළැන්දේ හැමදා ම එක ම විදිහට ය. අපේ අම්මා අප්පච්චිගෙ ඇඳුමේ පැළඳුමේ ද කවදාකවත් ‘ලොකු වෙනසක්’ තිබුණේ නැත. ඒත් අපේ ජීවිත එහෙම නො වේ ම ය. වෙනසක් ම ඉල්ලන්නේ ය. වෙනස පිළිබඳ කරදරය නිරන්තරව ම වද දෙන්නේ ය. වෙනස නො මැති නිසා ම හිතට වද වෙමින් වි`දවන්නේ ය.
රුසියාව ‘සමාජවාදය’ එපා වී දේශපාලන වෙනසකට ගියේ ය. චීනය, කියුබාව සහ වියට්නාමය පමණක් නො ව චිලී සහ ජර්මනිය ද ‘වෙනස’ ඉල්ලූවේ ය. ‘වෙනස’ වෙනුවෙන් සිරියාව, අයර්ලන්තය පමණක් නො ව රුමේනියාව හා තවත් බොහෝ රටවල් අප‍්‍රමාණ මනුෂ්‍ය ජීවිත සහ භෞතික සම්පත් විනාශ සිදු කරගත්තේ ය.
‘ඔයාගෙ දැන් ‘බඩ’ ඇවිල්ල. ඩෙනිම් අඳින්න එපා; කැතයි. ඔයා දාන්නෙ කොල්ලෝ දාන සපත්තු’
මගේ බිරිඳ ද පුතා ද මට සෝපහාස කරති; මා ලජ්ජාවට පත් කරති. මට ‘වෙනස්’ වන ලෙස ඔවුහු කියති. මට කොලෙස්ටරෝල් හා ඩයබිඩික් නිසා තෙල් කෑම නො දෙති. මට සීනි තහනම් ය.
මම ආසාවට ඔවුනට හොරෙන් ඉඳහිට තෙල් කෑම ද සීනි ද කමි. ඉස්සෝ දැල්ලෝ මට තහනම් ය. ඒ මා ‘ආස ම’ දේවල් ය. මට අවස්ථාව ලැබුණු සැනින් ඉස්සෝ හතර පහක් ‘හොරෙන්’ රස කරමි. හොරෙන් වෙනත් රහක් ලැබීම ද සතුටකි.
‘ගෙදෙට්ට වෙලා ඉඳලා එපා වෙලා. නිවාඩුවකට කොහේ හරි යමු.’ මගේ බිරිඳ කියන්නී ය. ‘හැමදා ම රස්සාවට ගිහිල්ලා එපා වෙලා. දවසක් නිවාඩු දාලා ගෙදර ඉමු.’ මගේ මිත‍්‍රයාගේ බිරිඳ කියන්නී ය. ‘හැමදා ම කඩෙන් කාලා එපා වෙලා. ගෙදර මොනවහරි උයාගෙන කන්න  ඕනි.’ රැකී රක්ෂාවලට යන්නෝ කියති. ‘එක ම කෑම ගෙදරින් කාලා එපා වෙලා. රෑට එළියට ගිහිල්ලා ‘ඩිනර්’ ගමු. නිතර ම ගෙදරින් කෑම ගන්නා දරුවෝ යෝජනා කරති.
ජංගම දුරකථන දහය පහළොවක් ම මම වෙනස් කළෙමි. එකක් තාක්ෂණික හේතු ය. දෙක විලාසිතාව ය. මගේ මුල් ම ‘ගඩොල් භාග සෙල්ටෙල් එක ගැන මට දැන් ලජ්ජා සිතෙයි. ‘ඔයා දැන් මේවා අඳින්නේ නෑ. කාට හරි දෙමු.’ කියා මගේ පරණ සපත්තු ද කලිසම් කමිස ද ගෙදරින් එළියට විසි වෙන අවස්ථා බොහෝ ය. ‘පරණ එක වෙනුවට අලූත් එකක්’ යනු වෙළඳ දැන්වීමක් පමණක් ම නො ව ඇත්ත ජීවිත කියවීමක් ද වන්නේය.
දැන් අපි ඞීමන් ආනන්දගේ මාරක කතා කියවන්නේ නැහැ. චිත‍්‍ර කතා ද නැත; පේ‍්‍රම කතා ද නැත. කාලයක් ‘0’ කණ්ඩායමේ පොත් කිය වූ මගේ බිරිඳ දැන් බෞද්ධ පතපොත කියවන්නී ය. ටී. වී. බැලූ පුතා දැන් නිතර ම අන්තර්ජාලයේ ය. ඔවුහු අලූත් වෙති; වෙනස් වෙති.
‘ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි.’ යන්න හැම ගෙදරක ම බිරිඳගේ ‘පුරුෂ කේන්ද්‍රීය’ චෝදනාවයි. පෙම්වතා ද, ස්වාමියා ද, පෙම්වතිය ද බිරිඳ ද දරුවෝ ද වෙනස් වී ඇත. වෙනස් නො වී ඇත්තේ එක ම දෙයකි. ‘ඔයා මට ආදරෙයි ද?’ යන සදාකාලික ව අසන ප‍්‍රශ්නය පමණකි. පේ‍්‍රමය ආරම්භ වූ දිනයේ සිට මැරෙන තෙක් ම විසදුම් නැති, වරදක් ඇතත් නැතත් සැක සහිත අනවරතයෙන් කුහුල වඩන ප‍්‍රශ්නය එයයි. ඔයා මට ආදරෙයි ද? එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදියා වෙනස් වී පුනරුත්ථාපනය වී ඇති බව පත්තර කියන්නේ ය. ආණ්ඩුව ද වෙනස් විය යුතු බව කියැවෙන්නේ ය. ‘වෙනස්’ අයවැයක් මිනිස්සු බලාපොරොත්තු වෙති. ‘අපේ ගෙදර’ පරිසරය දහදොළොස් වතාවක් වෙනස් කළේ මගේ වුවමනාවට වඩා මගේ බිරිඳගේ වුවමනාවට ය. ‘සුදු යකඩ වැට පරණයි’ අපි වෙනස් කළෙමු. ‘පුටු සෙට් එක පරණ ස්ටයිල් එකේ..’ වෙනස් කළෙමු. ‘ලෑම්ප් ෂෙඞ්, ගෙදර කර්ටන් හැමදා ම එක ම විදිහයි’
අලූත් කළෙමු.
ඒ සියලූ වෙනස් කිරීම් ගැන වර්තමාන කතාව ද හරි ම කලකිරෙන සුලූ ය.
‘කිසිම තේරුමක් නැති දේවල් අපි කළේ. අපරාදේ...’
දැන් ආගමික දෘෂ්ටිය, අල්පේච්ඡුතා වෙනස අපි අපේක්ෂා කරමු.
ඉහතින් කී සියල්ල අපේ භෞතික ජීවිතයට සහ පරිසරයට අදාළ ව කළ වෙනස්කම් ය.
අපට අපේ අම්මා, තාත්තා, දරුවා, බිරිඳ, ස්වාමියා, පෙම්වතා, ආගම යනා දී දේවල් වෙනස් කරන්නට අලූත් කරන්නට ඉඩ නැත්තේ ඇයි?
දැන් බොහෝ ගෙවල්වල පීතෘ මූලික ගෞරවය හෙවත් ‘පියා’ මූලික වීම දක්නට නැත. ඉස්සර ‘තාත්තා’ ලොකු ය. අම්මා පුංචි ය. දැන් තාත්තා ‘පුංචි’ වී අම්මා ‘ලොකු’ වී ඇත. දරුවාට පියා අහිමි වී අම්මා සමීප වී තිබේ. තාත්තා දුර ය. අම්මා ළග ය. බොහෝ අම්මලා ද තාත්තා ව හෑල්ලූ කරමින් ක‍්‍රියා කරති. අම්මාට  ඕනෑ හැටියට ගෙදර දොර බොහෝ දේ සිදුවන බැවිනි. දැන් පවුල පවතින්නේ තාත්තා අම්මා වෙලා ය; අම්මා තාත්තා වෙලා ය.


මේ වෙනසට පෙරදිග රටවල් සහ අපරදිග රටවල් මුහුණ දෙන ආකාරය විවිධ ය; වෙනස් ය. ලංකාවේ මොනවා වෙනස් කළත් ‘බිරිඳ’ වෙනස් කිරීමට ඉඩ නැත. පෙම්වතිය වෙනස් කිරීමට ද ඉඩ නැත. එකී යෝජනාවම ‘මාරාන්තික ෂොක්’ එකකි. ප‍්‍රචණ්ඩත්වය කැඳවීමකි. ‘වෙනස් වුණොත් තෝ මරනවා’ තරමට සාහසික ක‍්‍රියාවලියකි. බිරිඳ හෝ ස්වාමියා වෙනස් කිරීමට යෝජනා කිරීම ම ‘ජීවිතය සහ මරණය’ අතර මාරාන්තික අරගලයක ආරම්භයකි. විඳවීම වෙනුවට පළිගැනීම කැඳවීමකි. එය ස්ථීර ව ම මානසික ලෙඩකි. සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් වෙනස් වීමට අපේ සමාජ, සංස්කෘතික, දේශපාලන සහ ආගමික සමාජය ලාංකික අපට ඉඩ දෙන්නේ නැත.
යුරෝපීය සමාජයේ දී ‘වෙන්වීම’ හා ‘වෙනස් වීම’ මානව ජීවිතය ලොකුවට ‘ෂොක්’ කරන්නේ නැත. හේතුව විමසීම සහ ඉනික්බිතිව ඉඩ දීම එහි දී බොහෝ විට සිදු වේ. මගේ අදහස එය වඩා ශිෂ්ටාචාරවත් බව ය. පවුල, විවාහය, පේ‍්‍රමය ආශි‍්‍රත බොහෝ වෙනස්වීම්වලට අපේ සමාජයේ ඉඩක් නැත. එනිසා ‘වෙනස’ ‘හොරෙන්’ කර ගැනීමට ලාංකිකයා වෙහෙසෙති. ‘වෙනස’ අනිවාර්ය මිනිස් අවශ්‍යතාවකි. මනුෂ්‍ය ජීවිත සම්බන්ධ ව මෙම වෙනස ලාංකිකයා ‘ෆැන්ටසියක් හරහා’ කර ගනිති. ඔබගේ බිරිඳගේ ද ස්වාමියාගේ ද පෙම්වතාගේ ද පෙම්වතියගේ ද ජීවිතය තුළ ෆැන්ටසියක් තිබෙන බව ඔබ තේරුම් ගත යුතු ය. ඔවුහු එය යුරෝපයේ මෙන් යථාර්ථයක් කර නො ගනිති. යුරෝපීය සමාජය එහිදී අපට වඩා විවෘත ය; ශිෂ්ට ය. වද විඳවිඳ විඳවන්නේ නැතිව ඔවුහු ‘වෙනස’ යථාර්ථයක් කොට ගනිති.
‘ජීවිතය විග‍්‍රහ කිරීමේ දී, විශේෂයෙන් පේ‍්‍රමය සහ ලිංගිකත්ව විෂයේ දී සැකය, ආසාව, ලිංගික ඊර්ෂ්‍යාව ස්වාභාවික ය.  ඕනෑ ම සමාජයක දී ලිංගික සහසම්බන්ධතාවයක දී එය ස්වාභාවික ය. එහි දී ‘වෙනස’ අලූත් වීම මානව අවශ්‍යතාවයකි. ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්නේ එකී අපේක්ෂා සමහරක් කේන්ද්‍ර කොට ගෙන ය. යුරෝපීය සමාජය තමන්ට අවශ්‍ය මානවීය වෙනස්කම් ‘සෞඛ්‍ය සම්පන්න’ ලෙස සිදු කර ගනිති.
අපි එය ‘ලෙඩක්’ කරගෙන සිටිමු. අප දිනපතා පුවත්පත්වල දකින බොහෝ අපරාධ එකී රෝගයේ ප‍්‍රතිඵල ය.


උපුටා ගැනීම ;-http://www.lankadeepa.lk

No comments:

Post a Comment

Popular Posts